Wednesday, January 2, 2019

ගින්නෙන් උපන් සීතල



විජේවීර කියන්නෙ ලාංකීය සමාජයේ, පතුලටම කිඳාබැස්ස චරිතයක්. විජේවීර කවුද කියන එක, ප්‍රධාන වශයෙන්ම ධ්‍රැවීකරණය වෙච්ච අයිඩියෝලොජි 2 ක් හරහා තමයි සංස්ථාපනය වෙලා තියෙන්නෙ. හිටපු (සහ ඉන්නා ) පාලකයො 'ද්‍රෝහියා' අයිඩියෝලොය පොම්ප කරනකොට, වාම කඳවුර (ජවිපෙ මූලික වෙච්ච ) 'වීරයා' අයිඩියෝලොජිය සමාජගත කරන්න උත්සහ කළා...
විජේවීර ගැන මට කියවන්න අහන්න වෙන්නෙ අවුරුදු 5 විතර ඉඳන්. එතැන් සිට මේ දක්වා, ළඟින්ම ආස්‍රය කරපු කිහිප දෙනෙක්ගෙන් හා, විවිධ ලිපි මාල වලින් මම විජේවීරව කියෙව්වා. සමහර පුද්ගලයන් කියන සත්‍ය අත්දැකීම් වලින් මම විජේවීර ගැන මගේ අයිඩියෝලොජිය හදාගෙන තිබ්බ.
ගින්නෙන් උපන් සීතල බලන්න යන්නේ Chathra ය නිසා. "බලල කතාකරමු. " උගේ වචන ටික..!!
ඊයෙ ගින්නෙන් උපන් සීතල මීඩියා රිලීස් එක බැලුවා.
ෆිල්ම් එක බලන්න කලින් අනුරුද්ධ ජයසිංහ කතාකරල මෙහෙම කිව්වා.
"විජේවීර ව හමුදාවෙන් අරං යන මොහිතේ, විජේවීර එයාගෙ බිරිඳට මෙහෙම කියනවා.
- දරුවන්ට හොඳට උගන්නන්න..-
එහෙම කියල ඔහු අවුරුදු එකහමාරක් වූ චූටිම පුතාගෙ සඟිති පුතාගෙ අත ඉඹල පිටවෙනවා..."
ඒ සිඟිත්තා දැං ලොකු වෙලා. අවු 31 විතර ඇති. ඔහු ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා. අනරුද්ධ ඔහුට ආරාධනා කරනවා මිනිත්තු කීපයක් කතාකරන්න .
ඒ තරුණයා මාව පහුකරං සිනමාතිරය ඉදිරිය ගිහින් නිහතමානීව හිනාවෙලා සුන්දර වදන් කීපයක් මුමුණනවා. ජීවමානව දැකල නැති, ඒ අපූරු මිනිසා, ඔහුගේ පියාව ජීවමානව දකින්න ඔහු ඇවිත්. හැඩවසම් කොලු ගැටයෙක්. රුසියානු සම්බවය ලත් හිස් වැසුමක් දාගෙන හිටියෙ.
ෆිල්ම් එකක් බලන්න ඇවිත් හිටපු මම එතැන් සිට ෆිල්ම් එක අවසානය දක්වා නැරඹුවෙ ඒ කොලු ගැටයාගෙ ඇස් දෙකෙන්. මගේ තාත්තා දැවැන්ත තිරයෙ ජීවමානව දකිනවා. අම්මගෙ තරුණ කාලෙ දකිනවා. තාත්තා ගැන කියවෙන තුන්වෙනි අයිඩියෝලොජිය මාම දකිනවා. කොටින්ම ෆිල්ම් එකක් නොබැලිය යුතුම ආකාරයෙන් මම ෆිල්ම් එක බැලුවෙ.
එහෙම අතරමං වෙන්න හොඳ නෑ කවදාවත්. ඒක මානසික සෞක්‍යයට වගේම , ස්වාධීන ප්‍රේක්ෂක පරිකල්පනය ටත් හොඳ නෑ.. හැබැයි විජේවීර කියන මානවවදී අයිඩියෝලොජි එකට ලව් කර කර මම ෆිල්ම් එක බලනවා..
ෆිල්ම් එක බලල ඉවරවෙලා ටික වෙලාවකින් චත්‍රයගෙ කෝල් එක.
"මොකද ? කෝමද ? "
මගේ උත්තරේ ..
- "චිත්‍රපටිය බලන්න පටන් ගත්තේ විජේවීරගෙ කොළු ගැටයගෙ කතාවෙන්. එතැන ඉඳන් ෆිල්ම් එක බලන එක මං නැවැත්තුවා. මට ෆිල්ම් එක ගැන කියන්න නම් ආයෙ මතක් කර කර හිතන්න ඕනෙ. මට කාලෙ දීපං.. මං කරේ විජේවීරගෙ පුතා වෙලා තාත්තා දිහා බලන් හිටපු එක.."
සරල පර්සනල් කන්ටෙක්ස්ට් අස්සේ අතරමං වෙලා ෆිල්ම් එකක් බැලුවමයි ඒ ආතල් එකට ඒ වෙලාවෙ ඇබ්බැහි උනා. ෆිල්ම් එක හරියට ආපහු බලන්න ඕනෙ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප කුමක් කළ යුතුද ?

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප කුමක් කළ යුතුද ?
ලංකා පුවත්පතේ පළ වූ වැදගත් ලිපියක්..!



ලංකා ඉරිදා සංග්‍රහය - 2018/12/23
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ යහපත් දේශපාලන සංස්කෘතිය
මේ වනාහී අපට මේ දිනවල නිතර පාහේ ඇසෙන්නට ලැබෙන වචන මාලාවන්ය. විටෙක ජනමාධ්‍ය වලින්ද, තවත් විටෙක සටන් පෙරමුණු වලින්ද, තවත් විටෙක නොයෙක් වර්ගයේ දේශපාලකයන්ගෙන්ද මේ වචන නිරන්තරයෙන් කියවෙන වකවානුවකි මේ. එතනින්ද නොනැවතී, මේ ගැන වැඩිමනක් සංවේදී නොවුණු ගම් දනව් වල, කඩපිලේ, මාළු ලෑල්ලේ, බස් රථයේ, ත‍්‍රීවීලයේද දැන් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාබස් අසන්නට ලැබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ලෙස හංවඩු ගසාගෙන සිටි නමුදු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සංවේදී නොවුණු බහුතර පුරවැසියන්, මේ මොහොතේ රටේ ඇති වී තිබෙන සුවිශේෂී දේශපාලන තත්ත්වය හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන සංවේදී වන්නට පටන් ගෙන ඇත. ඒ ඇයි?
‘සිකුරාදා සර්ප‍්‍රයිස්’ කතා වටයේ පළමු කතාංගය ලෙස, දුෂණ වංචා වලට විරුද්ධව හා දුෂිතයන්ට දඬුවම් දීමට සපථ කරමින්, ‘අපමණ අගයක්’ වෙනුවෙන් ජනතා වරම් ලැබූ සිරිසේන ජනපතිවරයා විසින්, පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි මහින්ද රාජපක්ෂවම අගමැති ලෙස පත් කළේය. මිනිස්සු අන්දභූත වූහ. මෛත‍්‍රී යුගය නිමවුණේම රාජපක්ෂලාගේ දූෂණ, වංචා, ජාතිවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලන ගෝත‍්‍රික වැඩපිළිවෙළට එරෙහිවමය. රාජපක්ෂලාට නැවතත් ඒ ගෝත‍්‍රික පාලනය කරගෙන යෑමට ඉඩ නොතබන බවට දිවුර දිවුරා පොරොන්දු වූ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ලංසු තැබූ ‘අපේ ජනපති’ විසින්ම, ඔහුගේ ප‍්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂව අගමැති කරන්නේය. එතනින් නොනැවතී, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උත්තරීතර නියෝජිතයන් යැයි කියාගන්නා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, මිලියන 500 දක්වා මිල ගණන් වලට වෙන්දේසි වෙන තත්ත්වයක් දක්වා මෙය වර්ධනය විණි. අවසානයේ බහුතරය අහිමිව, ජනපති විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ වළලමින්, පවතින ව්‍යවස්ථාවට පයින් ගසා, ඒකාධිපති හස්තයෙන් පාර්ලිමේන්තුව විසුරවාලීය. සමාජය මතට තඩි මිටි පහරක් ගැසූවාක් මෙන් මිනිසුන් තක්බීර් වී මේ දෙස බලා සිටින්නට විය. පවතින සමාජ-දේශපාලනය ක‍්‍රමය තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ඇති උත්තරීතරම ආයතනය ‘පාර්ලිමේන්තුව’යි. එහි බහුතරය ආණ්ඩුව ලෙස පිළිගැනීම අප සැවොම පිළිගත් සම්ප‍්‍රදායයි. රටේ ජනාධිපතිවරයා එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායට අභියෝග කිරීමට පටන් ගැනීම, මේ සිදුවූ වියවුලේ ආසන්නතම කාරණයයි.
පසුගිය ඔක්තෝබර් 26 වනදා සිට නඩු තීන්දුව දක්වා රටේ ඇති වූ තත්ත්වය සැලකීමේදී, රටේ රාජ්‍ය මාධ්‍යද ඇතුළත්ව පුද්ගලික මාධ්‍ය බහුතරය සේවය කළේ නරුම දේශපාලනික ක‍්‍රියාවලියට පක්ෂවය. සුරතල් දෙබස් වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තෙපලන මාධ්‍යවේදීහුම, තම හාම්පුතාගේ ප‍්‍රාග්ධන අවශ්‍යතා අනුවම යමින් රටේ ප‍්‍රගතිශීලී මතවාදයට පශ්චාත් භාගයම පෙන්වන ලදී. මහින්ද-සිරිසේන පාලනයක් දැන් රටට අවශ්‍ය බවත්, ව්‍යවස්ථාවට වඩා ජනමතය වැදගත් බවත් ප‍්‍රචාරණය වන පරිද්දෙන් බහුතර මාධ්‍ය කටයුතු කළහ. නමුත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතාවාදී ව්‍යාපාර සියල්ල මේ නරුම දේශපාලන තීන්දු වලට එරෙහිව පෙනී සිටියහ. සමාජ ජාල වලින් පටන් ගැනුණු අරගලය මහපාරේ සටන් දක්වා ව්‍යාප්ත විණි. ස්වාධීන විනිසුරුවරුන්ට ආගම්වාදී සටන්පාඨවලින් ප‍්‍රහාර එල්ල කිරීම දක්වා නරුම ගෝත‍්‍රික දේශපාලන හස්තයන් ක‍්‍රියාත්මක වෙද්දී, ප‍්‍රගතිශීලී තරුණයන්, වෘතිකයන් ඇතුළු සමස්ත පුරවැසි බලවේග ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මතවාදී වෙනස්කම් ඉවතලා මහපාරේ සටනට අවතීර්ණ විය. විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් විවිධ තේමාවලින් කුළුගැන්වී, විවිධ නම්වලින් සංවිධානය වී ප‍්‍රජාතන්තවාදය ගැන සමාජය දැනුම්වත් කිරීමත්, ඒ වෙනුවෙන් සටන් කිරීමත් මේ ඇතිවුණු තත්ත්වයේ ධනාත්මක පාර්ශ්වය වේ. ඔවුන් නිර්මාණශීලීය. නැවුම් අදහස් වලින් සන්නද්ධය. සටන්කාමීය. නරුමයන්ට භය නොවී එකහඬින් සටන් පාඨ කියමින් මහපාරේ විරෝධතා කරන්නෝය. මෙය ඉතාමත්ම සාධනීය තත්ත්වයකි. වර්ධනය කළ යුතු තත්ත්වයකි. ප‍්‍රගතිශීලී කඳවුරේ ජයග‍්‍රහණයකි.
එම ප‍්‍රගතිශීලී කඳවුර තේරුම් ගත යුතු බරපතළ සත්‍යයක් ඇත. පසුගිය 14 වනදා නඩු තීන්දුවෙන්, සිරිසේන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික මුග්ධ තීන්දුවක් නෛතිකව පරාජය වුවද, මේ රටට උවමනා සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවම ලැබී නැති බවයි. මහින්දගෙන් ආණ්ඩුව ගෙන, නැවත රනිල්ට දුන්නා කියා මේ රටට අවශ්‍ය සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථික අභිවෘද්ධිය හෝ නිදහසේ අභිමානවත් ලෙස ජීවත් විය හැකි පුරවැසි අයිතිවාසිකම් නොලැබෙන බව, තේරුම් ගැනීම පුරවැසි අපගේ වගකීමයි. එය එසේ නොවේ නම්, රනිල්ගේ ආණ්ඩුවේ පසුගිය වසර තුන තුළ, මහ බැංකු වංචාව, පාර්ලිමේන්තුවෙන් පිට හොර පාරෙන් ගැසූ විදේශ ගිවිසුම්, සොරුන් වංචාකරුවන්ට නීතිය ක‍්‍රියාත්මක නොකර කරගෙන ගිය ඞීල් දැමීම් සිදුවිය හැකිද?
මේ නිශ්චිත මොහොතේ ඒකරාශී වූ සියලූ ප‍්‍රගතිශීලීන් විසින් මේ ඓතිහාසික මොහොත, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙනුවෙන් කළමනාකරණය කර ගැනීම සඳහා පෙළගැසිය යුතුමය. ඒ සඳහා පළමුව, ඔක්තෝබර් 26 න් ඇරඹි දේශපාලන කුමන්ත‍්‍රණයේ වගකිවයුත්තන් හෙළිදරවු කරගැනීමත්, ව්‍යවස්ථාව කඩකරමින් රට අරාජික කිරීමට යත්න දැරූ මුග්ධ දේශපාලකයන්ට එරෙහිව, නෛතික රාමුවක් තුළ දඬුවම් ලබා දීමටත් බල කළ යුතුය. දෙවනුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලමින් රට අරාජික කරන ඒකාධිපති පාලන ක‍්‍රමය, එනම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරගැනීමේ දිශාවට මේ අරගලය දිශා ගත කළ යුතුය. මන්ද යත්, විධායක ජනාධිපති ක‍්‍රමය නමැති, පාර්ලිමේන්තුවට වග නොකියන්නා වූ, අත්තනෝමතික බල කේන්ද්‍රයට විරුද්ධව ජනමතය පෙළගැස්වීමට සුදුසුම වෙලාව මෙය වන නිසාය. පාර්ලිමේන්තුවේ එකී සංවාදය ඇරඹී ඇති මොහොතක, පුරවැසි සංවිධානද ඒ සමඟ එකට සිට ගෙන, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරගැනීමේ සටන ඇවිලවීම යනු, කුමන්ත‍්‍රණකරුවන්ට දිය හැකි හොඳම පිළිතුරයි. ඉන්පසුව කළ හැකි වඩා උචිතම ක‍්‍රියාමාර්ගය නම් නීත්‍යානුකූල මහමැතිවරණයකට පිවිසීමයි. මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ විකිණෙන මන්ත‍්‍රී ශරීරවලට තවදුරටත් රටේ පුරවැසියන්ට සාධාරණක් සිදු කළ නොහැකි බව තේරුම් ගත යුතුය. තානාපති කාර්යාලවල හා කළු සල්ලි මත දේශපාලන තීන්දු තීරණ ක‍්‍රියාත්මක වන තත්ත්වයක් තුළ, පවතින පාර්ලිමේන්තු ඔළුවලට ජනතාවදී තීන්දු තීරණවලට එළඹිය නොහැක. මේ බව ජනතාව ඉතා ඉක්මනින් තේරුම් ගෙන, වඩා සුභදායී අනාගතයක් වෙනුවෙන් නැවුම් පාර්ලිමේන්තුවක් නීත්‍යානුකූලව පත් කර ගත යුතුය.
ශ‍්‍රී ලංකාව නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔස්සේ දශක හතක් තිස්සේ, විවිධ හැල හැප්පීම්වලට ලක් වෙමින් ඉදිරියට ගමන් කර ඇත. එහෙත් සරල විශ්ලේෂණයකින් රටේ ගමන් මාර්ගය පිරිසුවහොත්, කුලභේද , ආගම්භේද, ජාතිභේද, සිවිල් යුද්ධ, තරුණ නැගිටීම්, ගෝත‍්‍රික කුමණ්ත‍්‍රණ, විදේශ අතපෙවීම් ඔස්සේ අවසානය සනිටුහන් කර ඇත්තේ කොතනදැයි සොයාගැනීම අපහසු කටයුත්තක් නොවේ. සරලවම ශ‍්‍රී ලංකාව, තම වාර්ෂික රාජ්‍ය ආදායමෙන් 90%කට ආසන්න ප‍්‍රමාණයක ණය වාරිකයක් ගෙවන රටකි. ඇති නැති පරතරය ඔඩු දුවා ඇති රටකි. කෑමට දෙයක් නැතිව දින ගණන් ගස්වල ගෙඩි කමින් ජීවත් වෙන පවුල් ගැන ප‍්‍රවෘත්ති අසන රටකි. කඳුකරයේ වතු කම්කරුවන් දිනක පඩිය රු. 1000.00ක් දක්වා වැඩි කරගන්නට මහපාරේ උද්ඝෝෂණ කරන රටකි. තමන්ටම කියා නිෂ්පාදන හෝ සේවා ආර්ථිකයක් පිහිටුවා ගැනීමට නොහැකිව අනෙක් රාජ්‍යයන්ගෙන් ණය ඉල්ලමින්, නොහැකි නම් රටේ කිසියම් සම්පතක් විකුණමින් හෝ එදා වේල සොයාගන්නා රටකි. දූෂිත දේශපාලකයන්ගෙන් හා නිලධාරීන්ගේ වීරක‍්‍රියා කියන්නේ අපට බඬේ බත් වගේය. එතරම්ම අපට ඒවා සාමාන්‍ය වී තිබීම රටේ ඛේදවාචකයයි. දේශපාලකයා බ‍්‍රෑන්ඩඞ් වී ඇත්තේ දූෂණ-වංචා සිදුකරන, චණ්ඩි කමින් වැජඹෙන, ඕනෑම බොරුවක් හිරිකිතයකින් තොරව පැවසිය හැකි පුද්ගලයෙකු ලෙසය. පවතින ප‍්‍රධාන දේශපාලන පක්ෂවල සාතිශය බහුතරය එබඳුය. ප‍්‍රතිපත්තිගරුක විනයවත් දේශපාලකයා ගැන සිහින දකිමින්, දූෂිත මැර දේශපාලකයාව පාර්ලිමේන්තු යවන මහජනයාගේ සාක්ෂරතාව 92%කි. නමුත් දේශපාලන සාක්ෂරතාව කෙබඳුද?
පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂය ලෙස පිළිගැනීම සරල ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එය පිළිනොගන්නා විධායකයක් යනු ඒකාධිපතිත්වයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි මිනිසුන් ඒකාධිපතියෙක් ගැන හීන මැවීම ගෝත‍්‍රිකත්වයයි. ඒ ගෝත‍්‍රිකත්වය වෙනුවෙන් රටේ බහුතර ජනමාධ්‍ය ජාලයම මෙහෙයවමින්, ඊනියා ජාතිමාමකත්වයක් පෙන්වා, ජාතිකත්ව පදනමින් මිනිසුන් බෙදා පාලනය කිරීම දක්වා වූ ක‍්‍රියාවලිය නරුමවාදයයි. මිනිසුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වනුයේ දේශපාලකයෙක්ගේ හුදු අත්තනෝමතික ක‍්‍රියාවක් නිසාම නොව, ඉහත කී නරුම ‘ගෝත‍්‍රික’ ඒකාධිපති පාලනයේ ඓතිහාසික චලිතය නිසා බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
අපේ රටේ මිනිසුන් බෙහෙතක් හේතක් ගැනීමට පෙර හොඳම වෛද්‍යවරයා කවුදැයි සොයා බලනු අපි අසා ඇත්තෙමු. තම දරුවාට පාසලක් තේරීමේදී දෙමව්පියන් සියලූ කරුණු එකට ගෙන විශ්ලේෂණය කොට ඉතා යහපත් තීරණයක් ගැනීමට වෙහෙසෙයි. තම සහකාරිය හෝ සහකරුවා සොයා ගැනීමේදී පස්මහ බැලූම් බලන්නාක් මෙන්, තමන්ගේ හැම කටයුත්තකදීම එහි සියලූ කොන්දේසියක්ම සලකා බලනු ලබයි. නමුත් අපේ අනාගතය තීරණය කරන දේශපාලකයා තේරීමේදී...?? තමන් වෙනුවෙන් ගත යුතු වැදගත්ම තීරණය ගැනීමේදී පුරවැසියන් වන අප නිවැරදි දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවී, සාම්ප‍්‍රදායික පක්ෂයක කුමන හෝ නියෝජිතයෙක් තෝරා යවනු ලබයි. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහන, පිහි දික් කරන නියෝජිතයන් පත්ව ඇත්තේද මහජන ඡන්දයෙනි. ජනතාව හුරු වී ඇත්තේ රට හැදීමේ කොන්ත‍්‍රාත්තුව කාට හෝ භාර දීමටය. ඒ සඳහා තමා මැදිහත් විය යුතු බව පුරවැසියාට අමතකව ගොස් ඇත. මේ තත්ත්වය මෙතනින් වර්තනය කරගැනීමට ඇවැසි පුරවැසි ආමන්ත‍්‍රණ සිදුකරමින්, නිවැරදි තීරණයක් වෙනුවෙන් මහජනයා පෙළගැස්සවීමට, සියලූ ප‍්‍රගතිශීලී සංවිධාන එක්ව කටයුතු කළ යුතුමය.
ජපානය නැගිට්ටේ පරමාණු බෝම්බෙට පිංසිදු වෙන්නට යැයි කතාවක් ලෝක දේශපාලනයේ අසන්නට ලැබේ. එමෙන්ම, ලංකාවේ මේ සිදු වූ දේශපාලන අලකලංචියම, යහපත් රටක් වෙනුවෙන් නැගී සිටීමට යොදාගත හැක. ඒ වෙනුවෙන් මේ මොහොතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා පාරට බට සියලූ ප‍්‍රගතිගාමී පුරවැසියන්, හුදකලා නොවී, නිවැරදි දැක්මකින් එකමුතුව සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නම් ප‍්‍රකෘතිය වෙනුවෙන් සටන් කළ යුතුව ඇත. දශක හතක් නරා වලක සිටින අපට ඉන් ගොඩට පැමිණීමට කාලය එළඹ ඇත. එක්වෙමු. එකට සටන් කරමු. යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසෙමු. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, සැබෑ නිදහසක් වෙනුවෙන් කැපවෙමු.
එරංග ගුණසේකර
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක