Monday, December 12, 2011

මැදිවියේ දිරිය...


නිරීක්ෂණය:-


සෙනග බෝ නැත
දෙපෙළ හිටුවා බසේ
හුදකලා එක තැනක
කෙල්ලෙකී හරි විසේ


ආශාව මැඩ දැමූ
ලැජ්ජාව හරි උසේ
ළංවෙන්න දිරිය නැත
කොල්ලන්ට දහ අටේ


එක්වරම ගොඩවැදුනු
විය පැසුණු ඒ ඇසේ
කුරුමාණ නැවතුනේ
නාම්බිය සිටි දෙසේ


නීවරණ පසෙක ලා
දිරිය ගෙන හරි තොසේ
ඇදිණි ඇගෙ පිටුපසට
පාරමී පුරන සේ..


නිගමනය :-


හැඩි දැඩි පිරිමි
මැදි වයසේ
පරිණතය වීර
දිරිමත්ය බෝසේ..

Saturday, December 10, 2011

භූතයෝ.., ප්‍රේත කපුටෝ.. සහ "පණු" අපි..!!!


"චූටි මැණික.., චූටි මැණික...., අනේ පුතේ බලන්නකෝ අර චූටි මණික හීතලයි කියල එලියෙ කෑගහනවා.." 
යනුවෙන් සීයා කෑ ගසයි.. සීයාට දැන් 86කි. 
චූටි මැණික යනු අපේ නංගාය.. ඇය ගෙතුල පාඩමේ නිරත වන්නීය. එළියේ හඬන ළදරුවෙකු හඬට සීයා කෑ ගසයි. 


සීයාට වයසය. එබැවින් ශාරීරිකව දුබලව ඇත(ඇවිදීමටද අසිරුය ). කල්පනා ශක්තියද (සිහිය ) දුබල වී ඇත. ශාරීරික ශක්තිය පොහොසත් කල සීයාගේ කල්පනා ශක්තියේද අඩුවක් නොතිබිණි. ඔහුගේ මනස ඔහුගේ භෞතික ශරීරයද සමග වියැකී යන අයුරු සියැසින් දුටු මා හට දුක් වනවාට වැඩියෙන් සිතීමට කාරණයක් ඇත. 


මනස නැතහොත් මිනිස් විඥ්ඥානයට ශරීරයෙන් තොර පැවැත්මක් ඇත්නම්, සීයා වයසය යන කල ඔහුගේ ශරීරයත් සමග විඥ්ඥානයද දුබල මෙන්ම රෝගී වූයේ ඇයි..??


සීයාගේ විඥ්ඥනය ඔහුගේ මරණයින් මතුවටත් පවතී නම් හා එය සංසාරික චක්‍රයක් ඔස්සේ දුව යයි නම් ඒ සඳහ ඔහුගේ විඥ්ඥානය ශක්තිමත්ව පැවතිය යුතු නොවේද??


විද්‍යාවෙන් මා උගත්තේ නම්, මොළය නම් භෞතික අවයවයේ ක්‍රියාකාරිත්වයෙන් මිනිස් මනස හෙවත් විඥ්ඥානය හට ගන්නා බවයි. එහිදී හේතුව හෙවත් ප්‍රථමිකය වන හෞතික මස්තිශ්කයේ ක්‍රියාව නැවතුනු කල ඵලය හෙවත් ද්විතීකය වන විඥ්ඥානය ද මිය යා යුතු බවයි. 


මෙහිදී මා විද්‍යාව ලෙස සඳහන් කරන්නේ පෙරදිග හෝ අපරදිග විද්‍යාවක් නම් වූ හුදකලාවක් නැන නොවේ. මා දන්න අයුරු නම් විද්‍යාව වනාහී, සමස්ත ඉතිහාසය තුළ මේ පෘථිවිය මත විසිරී තිබූ මිනිස් ශ්‍රමය විසින් උකහා ගත් දැනුමේ විකාශනයේ මේ මොහොතේ ප්‍රතිඵලයයි. ඊ තුල යුරෝපීය, ඇමෙරිකා, චීන, ඉන්දියා පමණක් නොව බලංගොඩ මානවයගේ ශ්‍රමික වටිනාකම නොවෙනස්ව පවතී. එනිසාම පෙරදිග, අපරදිග හෝ වෙනත් භූ විද්‍යාත්මක අකාරයකින්  ලෙස විද්‍යාව වර්ග කිරීම මිත්‍යාවකි. එසේ පැවතීමට නම් ඉතිහාසය තුළ මානව සමාජ  සන්නිවේදනයක් නොතිබුණිද?? හෘද සාක්ශියට වංක නොවී සිතා බැලුවහොත් මෙය ඔබට මෙය වටහා ගැනීම අසීරු නොවනු ඇත.


"අප පෙරදිගය. අපට අපේම කියා උරුම වූ පෙරදිග විද්‍යාවක් ඇත. බටහිරෙහි හිර නොවී  අපේ ආධ්‍යාත්මය ගැන විශ්වාසය තබන්න.. අපේ විද්‍යාවන් අපට උරුම ඒ උතුම් ආධ්‍යාතිමීය විශ්වීය  ශක්තියන් තුළ ගොඩ නැගී ඇත. "


විශව විද්‍යාලයක මහාචාර්ය වරයෙක් උව ඉහත ප්‍රකාශය කළ හොත් පුදුම නොවන්න. ඔහු හා දැන් ඔහුගේ දරුවන් උව සත්‍ය වශයෙන් අවංකව ඉහත සඳහන් ආධ්‍යාත්මික මාර්ගායක නැත. පෘතුවියේ සෑම මිනිසෙක්ටම ඇති පරිද්දෙන්ම ඔහුටද හිමි දෙශපාලන භූමිකාව ලෙස ඔහුගේ එම ක්‍රියා කලාපයන් හඳුනා ගත් විට මාගේ විඥ්ඥානයට ඔහුගේ එම චර්යාව අර්ථකතනය කළ හැක. අප සැමටම සමාජීය/ සංස්කෘතික ආධ්‍යාත්මයන් උරුමව ඇත. එයද ඒ ඒ සමාජයේ/ සංස්කෘතියේ නිශ්පාදන ශ්‍රමික ඉතිහාසයේ නිර්මිතයක් නොවන්නේද?


කෙනෙකුට මේ හා සංවාද(අවංකව ) කළ හැක. එය ඉතා සංවර්ධනීය වේ. නැතහොත් තමන්ගේම වූ දේවාලයක් තුළට වී දෙවියන්ට ආ වඩමින් නැටිය හැක. එය පලක් නැති මෝඩ ක්‍රියාවක් ලෙස ඉවත දැමුවායැයි සිතමු. නමුත් හිතාමතා මිනිසුන්ගේ හිස්(විඥ්ඥානය ) මත දේවාල පනවා මුලා කර සමාජ සංවර්ධන දිශානතියට(ඓතිහාසික මිනිස් ශ්‍රම ක්‍රියාවලියක් තුළින් සමාජය ඉදිරියට ගමන් කරමින් ඇත. එහි දිශාව අවංකව සොයන්නෙකුට නිතැතින්ම හමු වනු ඇත ) විලෝමව ක්‍රියාකරන්නන් යනු  විශාලම සමාජ විෂබීජය වේ. ඔවුන්ගේම වදන් වලින් කියත හොත් ඔවුන් "භූතයන්" ය.


භූතයන්ගේ ප්‍රතිරාවයන් පසෙක ලීමට තවත් ප්‍රමාද විය යුතු නැත. තාක්ෂණය හා විද්‍යාව අතින් අති මහත් සංවර්ධනයක්(සාපේක්ෂව ) උරුම කරගෙන ඇති යුගයක අපි ජීවත් වෙමු. දැනුම ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ප්‍රසාරිතව ඇත. ඒ අනුව මිනිස් ශ්‍රමයේ වටිනාකමද ඉහල ගොස් වැඩ පහසු කරන හා කාලය අදික ලෙස ඉතිරි වන තත්වයක් පැවතිය යුතුය. නමුත් අපි තවමත් ඉතා විශාල ලෙස ශ්‍රමය වගුරවමින් ජීවත් වීම උදෙසා දඟලන පණුවන් මෙන් කුණු වලක සිරවී සිටිමු. මිනිස්කම්, සාධාරණත්වය, යුක්තිය පමනක් නොව අප්ගේ ජීවිත වල වටිනාකම්ද හීන වී සීඝ්‍රයෙන් අලෙවි වෙමින් පවතී. අති මහත් සමස්තය වූ අප්ගේ "පණු" සමාජයේ උරුමයන් හා වටිනාකම් "ප්‍රේත කපුටන්" කිහිප දෙනෙකු විසින් බුදුමින් සිටී. "ප්‍රේතයෝ" යන නම එම කපුටන්ට හොඳින්ම ගැලපේ. 


භූතයෝත් ප්‍රේතයෝත් නෑදෑයෝ වෙති. භූතයන්ගේ පැවැත්ම ප්‍රේතයන් උදෙසාය. පණු වලේ සිටින ඔබ භූත වන්දනා කරමින් ප්‍රේතයන්ට අලෙවි වීම පණු කමට උව නිගාවක් ලෙස නොසිතන්නේද??


වඩා නිවැරිදිම දේ භූතයන් පලවා හැර, සමස්ත "පණු" සමාජය වෙනුවෙන් කපුටන්ට එරෙහිව නැගී සිටීම නොවේද..?? 


නමුත් ඔබ දැන් කරන්නේ කුමක්ද???