Wednesday, January 2, 2019

ගින්නෙන් උපන් සීතල



විජේවීර කියන්නෙ ලාංකීය සමාජයේ, පතුලටම කිඳාබැස්ස චරිතයක්. විජේවීර කවුද කියන එක, ප්‍රධාන වශයෙන්ම ධ්‍රැවීකරණය වෙච්ච අයිඩියෝලොජි 2 ක් හරහා තමයි සංස්ථාපනය වෙලා තියෙන්නෙ. හිටපු (සහ ඉන්නා ) පාලකයො 'ද්‍රෝහියා' අයිඩියෝලොය පොම්ප කරනකොට, වාම කඳවුර (ජවිපෙ මූලික වෙච්ච ) 'වීරයා' අයිඩියෝලොජිය සමාජගත කරන්න උත්සහ කළා...
විජේවීර ගැන මට කියවන්න අහන්න වෙන්නෙ අවුරුදු 5 විතර ඉඳන්. එතැන් සිට මේ දක්වා, ළඟින්ම ආස්‍රය කරපු කිහිප දෙනෙක්ගෙන් හා, විවිධ ලිපි මාල වලින් මම විජේවීරව කියෙව්වා. සමහර පුද්ගලයන් කියන සත්‍ය අත්දැකීම් වලින් මම විජේවීර ගැන මගේ අයිඩියෝලොජිය හදාගෙන තිබ්බ.
ගින්නෙන් උපන් සීතල බලන්න යන්නේ Chathra ය නිසා. "බලල කතාකරමු. " උගේ වචන ටික..!!
ඊයෙ ගින්නෙන් උපන් සීතල මීඩියා රිලීස් එක බැලුවා.
ෆිල්ම් එක බලන්න කලින් අනුරුද්ධ ජයසිංහ කතාකරල මෙහෙම කිව්වා.
"විජේවීර ව හමුදාවෙන් අරං යන මොහිතේ, විජේවීර එයාගෙ බිරිඳට මෙහෙම කියනවා.
- දරුවන්ට හොඳට උගන්නන්න..-
එහෙම කියල ඔහු අවුරුදු එකහමාරක් වූ චූටිම පුතාගෙ සඟිති පුතාගෙ අත ඉඹල පිටවෙනවා..."
ඒ සිඟිත්තා දැං ලොකු වෙලා. අවු 31 විතර ඇති. ඔහු ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා. අනරුද්ධ ඔහුට ආරාධනා කරනවා මිනිත්තු කීපයක් කතාකරන්න .
ඒ තරුණයා මාව පහුකරං සිනමාතිරය ඉදිරිය ගිහින් නිහතමානීව හිනාවෙලා සුන්දර වදන් කීපයක් මුමුණනවා. ජීවමානව දැකල නැති, ඒ අපූරු මිනිසා, ඔහුගේ පියාව ජීවමානව දකින්න ඔහු ඇවිත්. හැඩවසම් කොලු ගැටයෙක්. රුසියානු සම්බවය ලත් හිස් වැසුමක් දාගෙන හිටියෙ.
ෆිල්ම් එකක් බලන්න ඇවිත් හිටපු මම එතැන් සිට ෆිල්ම් එක අවසානය දක්වා නැරඹුවෙ ඒ කොලු ගැටයාගෙ ඇස් දෙකෙන්. මගේ තාත්තා දැවැන්ත තිරයෙ ජීවමානව දකිනවා. අම්මගෙ තරුණ කාලෙ දකිනවා. තාත්තා ගැන කියවෙන තුන්වෙනි අයිඩියෝලොජිය මාම දකිනවා. කොටින්ම ෆිල්ම් එකක් නොබැලිය යුතුම ආකාරයෙන් මම ෆිල්ම් එක බැලුවෙ.
එහෙම අතරමං වෙන්න හොඳ නෑ කවදාවත්. ඒක මානසික සෞක්‍යයට වගේම , ස්වාධීන ප්‍රේක්ෂක පරිකල්පනය ටත් හොඳ නෑ.. හැබැයි විජේවීර කියන මානවවදී අයිඩියෝලොජි එකට ලව් කර කර මම ෆිල්ම් එක බලනවා..
ෆිල්ම් එක බලල ඉවරවෙලා ටික වෙලාවකින් චත්‍රයගෙ කෝල් එක.
"මොකද ? කෝමද ? "
මගේ උත්තරේ ..
- "චිත්‍රපටිය බලන්න පටන් ගත්තේ විජේවීරගෙ කොළු ගැටයගෙ කතාවෙන්. එතැන ඉඳන් ෆිල්ම් එක බලන එක මං නැවැත්තුවා. මට ෆිල්ම් එක ගැන කියන්න නම් ආයෙ මතක් කර කර හිතන්න ඕනෙ. මට කාලෙ දීපං.. මං කරේ විජේවීරගෙ පුතා වෙලා තාත්තා දිහා බලන් හිටපු එක.."
සරල පර්සනල් කන්ටෙක්ස්ට් අස්සේ අතරමං වෙලා ෆිල්ම් එකක් බැලුවමයි ඒ ආතල් එකට ඒ වෙලාවෙ ඇබ්බැහි උනා. ෆිල්ම් එක හරියට ආපහු බලන්න ඕනෙ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප කුමක් කළ යුතුද ?

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප කුමක් කළ යුතුද ?
ලංකා පුවත්පතේ පළ වූ වැදගත් ලිපියක්..!



ලංකා ඉරිදා සංග්‍රහය - 2018/12/23
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ යහපත් දේශපාලන සංස්කෘතිය
මේ වනාහී අපට මේ දිනවල නිතර පාහේ ඇසෙන්නට ලැබෙන වචන මාලාවන්ය. විටෙක ජනමාධ්‍ය වලින්ද, තවත් විටෙක සටන් පෙරමුණු වලින්ද, තවත් විටෙක නොයෙක් වර්ගයේ දේශපාලකයන්ගෙන්ද මේ වචන නිරන්තරයෙන් කියවෙන වකවානුවකි මේ. එතනින්ද නොනැවතී, මේ ගැන වැඩිමනක් සංවේදී නොවුණු ගම් දනව් වල, කඩපිලේ, මාළු ලෑල්ලේ, බස් රථයේ, ත‍්‍රීවීලයේද දැන් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාබස් අසන්නට ලැබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ලෙස හංවඩු ගසාගෙන සිටි නමුදු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සංවේදී නොවුණු බහුතර පුරවැසියන්, මේ මොහොතේ රටේ ඇති වී තිබෙන සුවිශේෂී දේශපාලන තත්ත්වය හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන සංවේදී වන්නට පටන් ගෙන ඇත. ඒ ඇයි?
‘සිකුරාදා සර්ප‍්‍රයිස්’ කතා වටයේ පළමු කතාංගය ලෙස, දුෂණ වංචා වලට විරුද්ධව හා දුෂිතයන්ට දඬුවම් දීමට සපථ කරමින්, ‘අපමණ අගයක්’ වෙනුවෙන් ජනතා වරම් ලැබූ සිරිසේන ජනපතිවරයා විසින්, පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි මහින්ද රාජපක්ෂවම අගමැති ලෙස පත් කළේය. මිනිස්සු අන්දභූත වූහ. මෛත‍්‍රී යුගය නිමවුණේම රාජපක්ෂලාගේ දූෂණ, වංචා, ජාතිවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලන ගෝත‍්‍රික වැඩපිළිවෙළට එරෙහිවමය. රාජපක්ෂලාට නැවතත් ඒ ගෝත‍්‍රික පාලනය කරගෙන යෑමට ඉඩ නොතබන බවට දිවුර දිවුරා පොරොන්දු වූ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ලංසු තැබූ ‘අපේ ජනපති’ විසින්ම, ඔහුගේ ප‍්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂව අගමැති කරන්නේය. එතනින් නොනැවතී, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උත්තරීතර නියෝජිතයන් යැයි කියාගන්නා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, මිලියන 500 දක්වා මිල ගණන් වලට වෙන්දේසි වෙන තත්ත්වයක් දක්වා මෙය වර්ධනය විණි. අවසානයේ බහුතරය අහිමිව, ජනපති විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ වළලමින්, පවතින ව්‍යවස්ථාවට පයින් ගසා, ඒකාධිපති හස්තයෙන් පාර්ලිමේන්තුව විසුරවාලීය. සමාජය මතට තඩි මිටි පහරක් ගැසූවාක් මෙන් මිනිසුන් තක්බීර් වී මේ දෙස බලා සිටින්නට විය. පවතින සමාජ-දේශපාලනය ක‍්‍රමය තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ඇති උත්තරීතරම ආයතනය ‘පාර්ලිමේන්තුව’යි. එහි බහුතරය ආණ්ඩුව ලෙස පිළිගැනීම අප සැවොම පිළිගත් සම්ප‍්‍රදායයි. රටේ ජනාධිපතිවරයා එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායට අභියෝග කිරීමට පටන් ගැනීම, මේ සිදුවූ වියවුලේ ආසන්නතම කාරණයයි.
පසුගිය ඔක්තෝබර් 26 වනදා සිට නඩු තීන්දුව දක්වා රටේ ඇති වූ තත්ත්වය සැලකීමේදී, රටේ රාජ්‍ය මාධ්‍යද ඇතුළත්ව පුද්ගලික මාධ්‍ය බහුතරය සේවය කළේ නරුම දේශපාලනික ක‍්‍රියාවලියට පක්ෂවය. සුරතල් දෙබස් වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තෙපලන මාධ්‍යවේදීහුම, තම හාම්පුතාගේ ප‍්‍රාග්ධන අවශ්‍යතා අනුවම යමින් රටේ ප‍්‍රගතිශීලී මතවාදයට පශ්චාත් භාගයම පෙන්වන ලදී. මහින්ද-සිරිසේන පාලනයක් දැන් රටට අවශ්‍ය බවත්, ව්‍යවස්ථාවට වඩා ජනමතය වැදගත් බවත් ප‍්‍රචාරණය වන පරිද්දෙන් බහුතර මාධ්‍ය කටයුතු කළහ. නමුත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතාවාදී ව්‍යාපාර සියල්ල මේ නරුම දේශපාලන තීන්දු වලට එරෙහිව පෙනී සිටියහ. සමාජ ජාල වලින් පටන් ගැනුණු අරගලය මහපාරේ සටන් දක්වා ව්‍යාප්ත විණි. ස්වාධීන විනිසුරුවරුන්ට ආගම්වාදී සටන්පාඨවලින් ප‍්‍රහාර එල්ල කිරීම දක්වා නරුම ගෝත‍්‍රික දේශපාලන හස්තයන් ක‍්‍රියාත්මක වෙද්දී, ප‍්‍රගතිශීලී තරුණයන්, වෘතිකයන් ඇතුළු සමස්ත පුරවැසි බලවේග ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මතවාදී වෙනස්කම් ඉවතලා මහපාරේ සටනට අවතීර්ණ විය. විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් විවිධ තේමාවලින් කුළුගැන්වී, විවිධ නම්වලින් සංවිධානය වී ප‍්‍රජාතන්තවාදය ගැන සමාජය දැනුම්වත් කිරීමත්, ඒ වෙනුවෙන් සටන් කිරීමත් මේ ඇතිවුණු තත්ත්වයේ ධනාත්මක පාර්ශ්වය වේ. ඔවුන් නිර්මාණශීලීය. නැවුම් අදහස් වලින් සන්නද්ධය. සටන්කාමීය. නරුමයන්ට භය නොවී එකහඬින් සටන් පාඨ කියමින් මහපාරේ විරෝධතා කරන්නෝය. මෙය ඉතාමත්ම සාධනීය තත්ත්වයකි. වර්ධනය කළ යුතු තත්ත්වයකි. ප‍්‍රගතිශීලී කඳවුරේ ජයග‍්‍රහණයකි.
එම ප‍්‍රගතිශීලී කඳවුර තේරුම් ගත යුතු බරපතළ සත්‍යයක් ඇත. පසුගිය 14 වනදා නඩු තීන්දුවෙන්, සිරිසේන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික මුග්ධ තීන්දුවක් නෛතිකව පරාජය වුවද, මේ රටට උවමනා සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවම ලැබී නැති බවයි. මහින්දගෙන් ආණ්ඩුව ගෙන, නැවත රනිල්ට දුන්නා කියා මේ රටට අවශ්‍ය සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථික අභිවෘද්ධිය හෝ නිදහසේ අභිමානවත් ලෙස ජීවත් විය හැකි පුරවැසි අයිතිවාසිකම් නොලැබෙන බව, තේරුම් ගැනීම පුරවැසි අපගේ වගකීමයි. එය එසේ නොවේ නම්, රනිල්ගේ ආණ්ඩුවේ පසුගිය වසර තුන තුළ, මහ බැංකු වංචාව, පාර්ලිමේන්තුවෙන් පිට හොර පාරෙන් ගැසූ විදේශ ගිවිසුම්, සොරුන් වංචාකරුවන්ට නීතිය ක‍්‍රියාත්මක නොකර කරගෙන ගිය ඞීල් දැමීම් සිදුවිය හැකිද?
මේ නිශ්චිත මොහොතේ ඒකරාශී වූ සියලූ ප‍්‍රගතිශීලීන් විසින් මේ ඓතිහාසික මොහොත, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙනුවෙන් කළමනාකරණය කර ගැනීම සඳහා පෙළගැසිය යුතුමය. ඒ සඳහා පළමුව, ඔක්තෝබර් 26 න් ඇරඹි දේශපාලන කුමන්ත‍්‍රණයේ වගකිවයුත්තන් හෙළිදරවු කරගැනීමත්, ව්‍යවස්ථාව කඩකරමින් රට අරාජික කිරීමට යත්න දැරූ මුග්ධ දේශපාලකයන්ට එරෙහිව, නෛතික රාමුවක් තුළ දඬුවම් ලබා දීමටත් බල කළ යුතුය. දෙවනුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලමින් රට අරාජික කරන ඒකාධිපති පාලන ක‍්‍රමය, එනම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරගැනීමේ දිශාවට මේ අරගලය දිශා ගත කළ යුතුය. මන්ද යත්, විධායක ජනාධිපති ක‍්‍රමය නමැති, පාර්ලිමේන්තුවට වග නොකියන්නා වූ, අත්තනෝමතික බල කේන්ද්‍රයට විරුද්ධව ජනමතය පෙළගැස්වීමට සුදුසුම වෙලාව මෙය වන නිසාය. පාර්ලිමේන්තුවේ එකී සංවාදය ඇරඹී ඇති මොහොතක, පුරවැසි සංවිධානද ඒ සමඟ එකට සිට ගෙන, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරගැනීමේ සටන ඇවිලවීම යනු, කුමන්ත‍්‍රණකරුවන්ට දිය හැකි හොඳම පිළිතුරයි. ඉන්පසුව කළ හැකි වඩා උචිතම ක‍්‍රියාමාර්ගය නම් නීත්‍යානුකූල මහමැතිවරණයකට පිවිසීමයි. මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ විකිණෙන මන්ත‍්‍රී ශරීරවලට තවදුරටත් රටේ පුරවැසියන්ට සාධාරණක් සිදු කළ නොහැකි බව තේරුම් ගත යුතුය. තානාපති කාර්යාලවල හා කළු සල්ලි මත දේශපාලන තීන්දු තීරණ ක‍්‍රියාත්මක වන තත්ත්වයක් තුළ, පවතින පාර්ලිමේන්තු ඔළුවලට ජනතාවදී තීන්දු තීරණවලට එළඹිය නොහැක. මේ බව ජනතාව ඉතා ඉක්මනින් තේරුම් ගෙන, වඩා සුභදායී අනාගතයක් වෙනුවෙන් නැවුම් පාර්ලිමේන්තුවක් නීත්‍යානුකූලව පත් කර ගත යුතුය.
ශ‍්‍රී ලංකාව නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔස්සේ දශක හතක් තිස්සේ, විවිධ හැල හැප්පීම්වලට ලක් වෙමින් ඉදිරියට ගමන් කර ඇත. එහෙත් සරල විශ්ලේෂණයකින් රටේ ගමන් මාර්ගය පිරිසුවහොත්, කුලභේද , ආගම්භේද, ජාතිභේද, සිවිල් යුද්ධ, තරුණ නැගිටීම්, ගෝත‍්‍රික කුමණ්ත‍්‍රණ, විදේශ අතපෙවීම් ඔස්සේ අවසානය සනිටුහන් කර ඇත්තේ කොතනදැයි සොයාගැනීම අපහසු කටයුත්තක් නොවේ. සරලවම ශ‍්‍රී ලංකාව, තම වාර්ෂික රාජ්‍ය ආදායමෙන් 90%කට ආසන්න ප‍්‍රමාණයක ණය වාරිකයක් ගෙවන රටකි. ඇති නැති පරතරය ඔඩු දුවා ඇති රටකි. කෑමට දෙයක් නැතිව දින ගණන් ගස්වල ගෙඩි කමින් ජීවත් වෙන පවුල් ගැන ප‍්‍රවෘත්ති අසන රටකි. කඳුකරයේ වතු කම්කරුවන් දිනක පඩිය රු. 1000.00ක් දක්වා වැඩි කරගන්නට මහපාරේ උද්ඝෝෂණ කරන රටකි. තමන්ටම කියා නිෂ්පාදන හෝ සේවා ආර්ථිකයක් පිහිටුවා ගැනීමට නොහැකිව අනෙක් රාජ්‍යයන්ගෙන් ණය ඉල්ලමින්, නොහැකි නම් රටේ කිසියම් සම්පතක් විකුණමින් හෝ එදා වේල සොයාගන්නා රටකි. දූෂිත දේශපාලකයන්ගෙන් හා නිලධාරීන්ගේ වීරක‍්‍රියා කියන්නේ අපට බඬේ බත් වගේය. එතරම්ම අපට ඒවා සාමාන්‍ය වී තිබීම රටේ ඛේදවාචකයයි. දේශපාලකයා බ‍්‍රෑන්ඩඞ් වී ඇත්තේ දූෂණ-වංචා සිදුකරන, චණ්ඩි කමින් වැජඹෙන, ඕනෑම බොරුවක් හිරිකිතයකින් තොරව පැවසිය හැකි පුද්ගලයෙකු ලෙසය. පවතින ප‍්‍රධාන දේශපාලන පක්ෂවල සාතිශය බහුතරය එබඳුය. ප‍්‍රතිපත්තිගරුක විනයවත් දේශපාලකයා ගැන සිහින දකිමින්, දූෂිත මැර දේශපාලකයාව පාර්ලිමේන්තු යවන මහජනයාගේ සාක්ෂරතාව 92%කි. නමුත් දේශපාලන සාක්ෂරතාව කෙබඳුද?
පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂය ලෙස පිළිගැනීම සරල ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එය පිළිනොගන්නා විධායකයක් යනු ඒකාධිපතිත්වයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි මිනිසුන් ඒකාධිපතියෙක් ගැන හීන මැවීම ගෝත‍්‍රිකත්වයයි. ඒ ගෝත‍්‍රිකත්වය වෙනුවෙන් රටේ බහුතර ජනමාධ්‍ය ජාලයම මෙහෙයවමින්, ඊනියා ජාතිමාමකත්වයක් පෙන්වා, ජාතිකත්ව පදනමින් මිනිසුන් බෙදා පාලනය කිරීම දක්වා වූ ක‍්‍රියාවලිය නරුමවාදයයි. මිනිසුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වනුයේ දේශපාලකයෙක්ගේ හුදු අත්තනෝමතික ක‍්‍රියාවක් නිසාම නොව, ඉහත කී නරුම ‘ගෝත‍්‍රික’ ඒකාධිපති පාලනයේ ඓතිහාසික චලිතය නිසා බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
අපේ රටේ මිනිසුන් බෙහෙතක් හේතක් ගැනීමට පෙර හොඳම වෛද්‍යවරයා කවුදැයි සොයා බලනු අපි අසා ඇත්තෙමු. තම දරුවාට පාසලක් තේරීමේදී දෙමව්පියන් සියලූ කරුණු එකට ගෙන විශ්ලේෂණය කොට ඉතා යහපත් තීරණයක් ගැනීමට වෙහෙසෙයි. තම සහකාරිය හෝ සහකරුවා සොයා ගැනීමේදී පස්මහ බැලූම් බලන්නාක් මෙන්, තමන්ගේ හැම කටයුත්තකදීම එහි සියලූ කොන්දේසියක්ම සලකා බලනු ලබයි. නමුත් අපේ අනාගතය තීරණය කරන දේශපාලකයා තේරීමේදී...?? තමන් වෙනුවෙන් ගත යුතු වැදගත්ම තීරණය ගැනීමේදී පුරවැසියන් වන අප නිවැරදි දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවී, සාම්ප‍්‍රදායික පක්ෂයක කුමන හෝ නියෝජිතයෙක් තෝරා යවනු ලබයි. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහන, පිහි දික් කරන නියෝජිතයන් පත්ව ඇත්තේද මහජන ඡන්දයෙනි. ජනතාව හුරු වී ඇත්තේ රට හැදීමේ කොන්ත‍්‍රාත්තුව කාට හෝ භාර දීමටය. ඒ සඳහා තමා මැදිහත් විය යුතු බව පුරවැසියාට අමතකව ගොස් ඇත. මේ තත්ත්වය මෙතනින් වර්තනය කරගැනීමට ඇවැසි පුරවැසි ආමන්ත‍්‍රණ සිදුකරමින්, නිවැරදි තීරණයක් වෙනුවෙන් මහජනයා පෙළගැස්සවීමට, සියලූ ප‍්‍රගතිශීලී සංවිධාන එක්ව කටයුතු කළ යුතුමය.
ජපානය නැගිට්ටේ පරමාණු බෝම්බෙට පිංසිදු වෙන්නට යැයි කතාවක් ලෝක දේශපාලනයේ අසන්නට ලැබේ. එමෙන්ම, ලංකාවේ මේ සිදු වූ දේශපාලන අලකලංචියම, යහපත් රටක් වෙනුවෙන් නැගී සිටීමට යොදාගත හැක. ඒ වෙනුවෙන් මේ මොහොතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා පාරට බට සියලූ ප‍්‍රගතිගාමී පුරවැසියන්, හුදකලා නොවී, නිවැරදි දැක්මකින් එකමුතුව සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නම් ප‍්‍රකෘතිය වෙනුවෙන් සටන් කළ යුතුව ඇත. දශක හතක් නරා වලක සිටින අපට ඉන් ගොඩට පැමිණීමට කාලය එළඹ ඇත. එක්වෙමු. එකට සටන් කරමු. යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසෙමු. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, සැබෑ නිදහසක් වෙනුවෙන් කැපවෙමු.
එරංග ගුණසේකර
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක

Thursday, January 11, 2018

කාන්තා විමුක්තිය හා සී ලංකා ලිබරල් ආණ්ඩු ..!


-----------------
කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට මෙන්ම මත්පැන් අලෙවිකරන හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
ලංකාදීප පුවතක්  
-----------------

නිකමට හිතන්න ..! මේකෙ අරක්කු කවුළුව විතරක් තියෙන පිංතූරයක් බලාගෙන අපිට කියන්න පුළුවන් මේක හොඳ තීරණයක් කියල. " නීතිය සැමට එක විය යුතුයි ..! ගෑනුන්ට විතරක් බොන්න බැරි යල් පැන ගිය නීති වෙනස් කරන්න බැරි ආණ්ඩු කොස් කොටන්න දැයි " ඔබට සිතිය හැක ..!
හැබැයි ඇත්තටම ආණ්ඩුව ඇයි මේක කළේ කියන එක හිතන්න ගියොත් මේ සම්පූර්ණ පිංතූරෙ පේනවා. අපි මේ ආණ්ඩු ගැනත් දන්නවා .. මේ ආණ්ඩු රට කරපු හැටිත් දන්නවා. අපි වෙනුවෙන්, අපේ සකළ අභිවෘද්ධිය වෙනුවෙන් මේ ආණ්ඩු වැඩ කරන බවත් තීරණ ගන්න බවත් දන්න නිසා (සභාවේ තදින් සිනා), අපි ටිකක් හිතන්න ඕනෙ නැද්ද ආණ්ඩුවේ යටි පෙළ ස්ට්‍රැටජිය මොකක්ද කියලා ?





මා මිත්‍ර රවිනාත් විජේසේකර විසින් බුකියේ පළ කරන ලද විශ්ලේෂණය මෙසේ උපුටා ගනිමි.


------
කාන්තාවන් සම්බන්ධයෙන් පැවැත්වූ මත්පැන් සීමාවන් ඉවත් කිරීම පිළිබඳව කතා කරන බොහෝ මිත්‍රයෝ අදහස් දක්වා තිබෙන්නේ එය විප්ලවකාරී රැඩිකල් තීරණයක් ලෙසිනි.
ගැසට් නිවේදනය නිකුත් කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසිනි. මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදය පිටුපස තිබෙන දේශපාලනික හා ආර්ථික අපේක්ෂාව හඳුනා නොගෙන තීරණයේ සුවිශේෂි බව පමණක් වියුක්තව ගෙන අදහස් දැක්වීමේ දී මුලා විය හැකි බැවින් එම ගැසට් නිවේදනය පිටුපස තිබෙන ආර්ථික දේශපාලනය විග්‍රහ කළ යුතු යැයි සිතමි.
මුදල් අමාත්‍යවරයාගේ කර්තව්‍ය වී තිබෙන්නේ කඩා වැටෙමින් තිබෙන ආර්ථිකයට ආදායම් සොයා ගැනීමයි. ඔහු ආර්ථිකයට අලුතින් එකතු කළ හැකි ආදායම් මාර්ග සොයන්නේය යන්න බොරුවක් හෝ අතිශෝක්තියක් නොවේ. පවතින ආණ්ඩුව, ව්‍යාපාරවලින් ඉවත් වීමේ නියෝලිබරල්වාදී ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන බැවින් රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා සැලසුම් කරන්නේ ය යන්න පහසුවෙන් ඉවත දැමිය හැකි තර්කයක් වේ. එහෙත් ආණ්ඩුව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දීර්ඝ කාලීන ප්‍රතිඵල අත්කර දෙන උපාය මාර්ග සොයා ගැනීම තම වගකීම ලෙසින් මුදල් අමාත්‍යවරයා කල්පනා කරන්නේ ය යන්න පිළිගත හැකි තර්කයක් බව පැහැදිලි ය.

ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් ය. මෙයින් සුළු ප්‍රතිශතයක් මත්පැන් වෙළඳපොල වෙත ආකර්ශනය කර ගත හොත් එයත් විශාල ආදායම් මාර්ගයක් බව ආර්ථිකය පිළිබඳ දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙන සරළ ආර්ථික කාරණාවකි. දැනට 26%පමණ වූ සුරා බදු 30%ක් දක්වා වැඩි කර ගැනීමට දැනට පනවා තිබෙන මත්පැන් සඳහා පනවා තිබෙන බදු ඉහල දැමීමෙන් කළ හැක්කක් නොවේ. එසේ සීමාවකින් තොරව බදු වැඩි කිරීමෙන් මත්පැනට ඇබ්බැහි වූ ජනතාව කසිප්පු වැනි විකල්ප කෙරෙහි වේගයෙන් මාරු වෙන බව සංඛ්‍යාෙල්ඛන පෙන්වා දේ.

එසේ නම් කළ යුත්තේ මත්පැන් බොන සංඛ්‍යාව ඉහල දැමීමයි. එ් සඳහා මත්පැන් වෙළඳපොල කෙරෙහි නීති මගින් පනවා තිබෙන සීමාවන් ලිහිල් කළ යුතු වේ.
මෙරට කාන්තාවන් අතරින් සීයයට දශම එකක්වත් මත්පැන් කෙරෙහි ඇබ්බැහි වී නැත. තත්වය එසේ තිබිය දී කාන්තාවන්ගෙන් ප්‍රභල ඉල්ලීමක් පවා නොමැතිව කාන්තාවන් කෙරෙහි බලපැවැත්වූ මත්පැන් සීමාවන් ලිහිල් කරන්නේ පැහැදිලිවම මත්පැන් වෙළඳපොල කෙරෙහි බලපැවැත්වූ සීමාකාරී වෙළඳපොළ පුළුල් කිරීමේ පරමාර්ථයෙන් බව ඉතා පැහැදිලිව තේරුම් ගත හැකිය.
මේ උත්සාහයේ ද සීමාවක් තිබේ. මත්පැන් වෙළඳපොල ඕනෑම අයෙකුට මිල දී ගත හැකි අයුරින් සීමාවකින් තොරව වීවෘත කළත් සංස්කෘතික සමාජීය බලපෑම නිසා එක්තරා තැනක දී ස්වාභාවිකව නවතිනු ඇත. එදින දී සල්ලි හොයන මුදල් ඇමතිවරුන්ට විකුණන්න සිදු වෙන්නේ මෙරට අහිංසක ස්ත්‍රීන්ගේ ලිංගිකත්වයයි.
එදාටත් අප්පට සිරි ඒක පට්ට රැඩිකල් තීරණයක් කියමින් සතුටට පත් වෙන ජනතාවක් අප අතරම සිටිනු ඇත.
රජයක් ගන්නා ඕනෑම තීරණයක් විශ්ලේෂණාත්මකව තේරුම් ගත යුත්තේ ය. තේරුම් ගැනීම දුර්වල නම් රැවටීමේ උපක්‍රම තුලින්ම දුෂ්ඨයින් සමාජයේ වීරයින් වෙනු ඇත.


රවිනාත් විජේසේකර
2017 ජනවාරි 11

----


උපුටා ගැනීම අවසන්..

රවිනාත් ගේ ඉහත විශ්ලේෂණයට එල්ල වූ ප්‍රතිවිරෝධතාවන් මෙසේ පෙළගැස්විය හැක.

  • නීතිය පිරිමි - ගැහුණු කියා වෙන් කිරීම ගෝත්‍රික බැවින් ආණ්ඩුවේ මෙම ක්‍රියාව සාධනීය ලෙස පිළිගත යුතු අතර බොරු විශ්ලේෂණ වැඩක් නැත
  • අපි බොනවනම් ගෑනු බිව්වම මොකද ? ලිං මැඩි චින්තනේ අතෑරල විවෘතව දැකිය යුතුය
  • වාමාංශිකයින් නැමැති සත්වයන්ට හැමදාම පුළුවන් නැති ප්‍රශ්න ඇති කර, බොරු තර්ක දම දමා ඉන්නටය. කුහක නොවී මෙය හොඳ ක්‍රියාවක් බව පිළිගහ්ට යුතුය.



ඒ ප්‍රතිචාර වලට මගේ සත දෙක මෙසේය ..!


මේක තර්ක කරන ක්‍රමයේ තියෙන අවුල බොලං ..

නීතිය සමාන විය යුතුයි. (කොහෙත්ම සමාන නැත, පුළුවන් එකාට එකකි නැති එකාට වෙන එකකි ). නමුත් මේ යල් පැනගියල ගෑනු පිරිමි වෙන්කරන නීති වෙනස් කරන එක සාධනීයයි. අපි බොනවනම් ගෑනියෙක්ටත් බොන්න තියෙන්න ඕනෙ. කිසිම අවුලක් නෑ .. 

එහෙනම් මොකක්ද අවුල ?

උදාහරණයකින්ම ගන්නම්.. තිලංක කියල මහත්තයෙක් ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නවා. ඒ ගමන්ම රෙස් බුකි සීන් එකෙත් ඉන්නව. එහෙම ඉන්නව කියලත් අපි දන්නව. දැන් තිලංක ක්‍රීඩාවේ දියුණුවට කියල පිටරටකින් තමන්ගෙ යාළුවෙක් හරහා නව තාක්ෂණය හඳුන්වාදෙන වැඩමුළුවක් කරා කියමු. උඩින් ගත්තොත් ඒක හොඳයි. දැන් ඉතිං පිටින් බලන් ඉන්න ලිබි මනසකට මෙහෙම හිතෙන්න පුළුවන්.. 
"දැන් මොකක්ද කියන්නේ ? ක්‍රීඩකයන්ට නව තාක්ෂණය හඳුන්වාදීම හොඳ නැද්ද ? ආ එහෙනම් මොන අට මගුලක්ද තොපි කියන්නේ . සරල ගනිං . තෝපේ ඔය රෙද්දෙ විශ්ලේෂණ නිසා තමා රටට ඉස්සරහට යන්න බැරි. ඕනෙ එකටයි එපා එකටයි දෙකටම හොට දාල බොරු තර්ක දාල ප්‍රශ්න අදින්නමයි බලන් ඉන්නෙ .. ' යනාදී වශයෙන් ... 

ඒ අතරෙ රවිනාත් ඇවිත් තිලංග සහ උගේ පිටරට යාළුව අතර තියෙන සම්බන්ධතාවය ගොඩනැගිල තියෙන්න සූදුව මූලික කරගෙන කියන එක සාධනය කරන්න හදනව. මතුපිටින් පෙනෙන දේට වඩා ඇතුලාන්තයේ කතාව වෙනස් එකක් බවත්, ඉතිහාසයේ සිට තිලංග කරපු දේවල් මූලික කරගෙන තමා මේ තර්කය ගොඩනගන බවත් කියනවා ..


දැන් කවුද වැරදි ? 

ඇනලයිස් එකේ බේස් එක ගන්න. එකම කතාවෙ ඇත්ත කීපයක් තියෙන්න පුළුවන්. වඩා සාධනීය වෙන්නෙ වඩා පුළුල්ව දේශපාලනිකව කියවා ගැනීම. එහෙම නොකර ඉන්න එක තම තමාගෙ අයිතිය.

Tuesday, January 28, 2014

අපි බ්‍රෑන්ඩඩ්ය..!!



උදේට රත්මලාන ස්ටේෂමෙන් .., සමාවෙන්න රත්මලාන ස්ටේෂන් එකෙන් වැඩට එන්න ට්‍රේන් එකට නගින බ්‍රයන් බ්‍රෑන්ඩඩ් පොරක්ය..!!  සමුද්‍ර දේවී දුම්රියට බ්‍රයන් නගින්නේ නැත්තේ ඒ වෙලාවට එන්න බැරි නිසාවත්, ඒකෙ සෙනග වැඩි නිසාවත් නොවේ. එය ඉන්දියන් බඩුවක් නිසාය.. ඊට පසුව එන චයිනීස් ට්‍රේන් එකටත් වඩා, ඊටත් පසුව එන කොරියන් හයිඋන්දායි හෝ ජර්මන්.., නැතනම් කැනේඩියන් ට්‍රේන් එකක පරක්කු වී හෝ වැඩට යෑම බ්‍රෑන්ඩඩ් බව බ්‍රයන් දන්නේ අත්දැකීමෙන්ය..!!

ස්ටේෂන් එකෙන් බැහැල, අත්දිග ෂර්ට් එක ඇඳපු ආඩම්බරෙන්, රතු පාට ටයිල්-ගඩොල් අල්ලපු පොෂ් පේව්මන්ට් එකේ, හෙඩ් සෙට් එකෙන් සින්දු අහගෙනම ඇවිදින බ්‍රයන් බ්‍රෑන්ඩඩ්ය..!! පාරෙ තියෙන ශොප්ස් වල වීදුරු බිත්ති වලින් තමන්ගේ හැඩ බල බලා යන අතරෙ එකපාරට දකින පී ඇන්ඩ් එස් වගේ පේස්ට්‍රි ශොප් එකකින් බ්‍රෙක්ෆස්ට් ගන්න බ්‍රයන් බ්‍රෑන්ඩඩ්ය..!! කාල එන්න ලෑස්ති වෙලා, කැන් අයි හෑව් අ ටිෂූ ප්ලීස් කියල කියන බ්‍රයන්ව, ඒ ශොප් එකේ වැඩ කරන උන්ට බ්‍රෑන්ඩඩ්ය..!! කොටින්ම එල් වී තරම්ම බ්‍රෑන්ඩඩ්ය..!!
(එල් වී කියපු එක තේරුනේ නැත්නම්.., ම්ම්ම්.., ලංකාවෙ ඡන්දෙ ඉල්ලන නිළියො තරම්ම බ්‍රෑන්ඩඩ්ය..!!



සුද්දියො රේප් කරල නඩු නැතිව ඉන්නා අපේ උන් බ්‍රෑන්ඩඩ්ය (මුළු ලොවම ප්‍රචලිතය )..!!
ඕල්ඩ් රිසර්ව් උගුරු දෙකක් දා ගත්තම ඉංග්‍රීසි මතක් වෙන අපේ උන් බ්‍රෑන්ඩඩ්ය..!!
මෙලෝ රහක් නැති සින්දු කියල, සල්ලි දීල හිට් කරල, තමන් පොරක් යැයි තමන්ම කියා ගන්නා ගමන්, අහවල් කෙල්ලට මගේ ඡන්දෙ දේනවා යැයි කියන අපේ උන් බ්‍රෑන්ඩඩ්ය..!!
කුඩු බ්‍රැන්ඩඩ් නැතත් කුඩු ගේන අපේ උන් බ්‍රැන්ඩඩ්ය..!!

අපි බ්‍රෑන්ඩඩ්ය..!!

Monday, September 23, 2013

හිත තවම අගුලු ලාගෙන මම..

Clicked by Shamen Walker
නුබ ඇවිත් ආපසු නොගිය
හිත තවම අගුලු ලාගෙන මම..

ගිනියම් ඉරත් මමත් අතරට
පැමිණි සඳ සෙනෙහෙ පිණි ඉසිනට
දෝතින් වැළඳ ගත් හනිකට
ලෝබ කම මගේ උතුරන..

නැවතුම් පොළක් නොවන බව
දැන දැනත් තෙමුනෙමි - මහා වැස්සක
අකුණු සැර සුසුමක
වැළඳ නික්මෙන - අහිංසක කඳුළු කැට

නුබ ඇවිත් ආපසු නොගිය
හිත තවම අගුලු ලාගෙන මම..

දළඹු කෙල්ල

පියඹන්නට තටු එනකං පෙරුම් පුරන් බලන් ඉන්න
කොලේ පුරා පෙම් කවියක් ලියාපු ඒ දළඹු කෙල්ල
හීන මව මවා හිටියට රාජ කුමාරයෙක් ගන්න
තාමත් ඌ ගෙඹි කොල්ලෙකි සාපය බෑ මකාලන්න..

Tuesday, April 30, 2013

"කාක් කාක්.."

එක්වරම වමට දකුණට
දෙපස බල බල 
උසාවියෙ වහල උඩ
"කාක් කාක්.."
කපුටෙක්ය මම..

මොක්කද දන්නේ නෑ, අද කතාව
බලන්නත් ආසයි, මතක නැති සතාව..
"විත්තිකරුට අමාරුයි..!!" දෙනව ඇප අද මම
නඩු උන්නාන්සේ කීවෙ අඬ අඬ..

සාරුවාට,
යකඩ හොරාට,
පෙර පිං තිබ්බාට..
හොඳ වැඩේ ඒකිට
කළුතර මල් වික්කාට..

හිරේ ගියේ කුඩු ගහල
කමලගෙ මිනිහ
පොඩි එකා.., හොරකං කරල
කොයි වෙලාවෙත් ඒකි උසාවි ඇවිල්ල.!!
අද ආවෙ නෑ, බනිස් ගෙඩියකට නවලෝකෙ ගිහිල්ල..!!

Wednesday, April 17, 2013

මට ආසයි ලොකු පොරක් වෙන්න..!!



තරු ගොඩක් මැද ලොකු සඳක් වෙන්න
දිය කඩිති ළඟ මහ ගඟක් වෙන්න
මට ආසයි.. මට ආසයි..
හා පැටවු ළඟ සිංහයෙක් වෙන්න
මට ආසයි ලොකු පොරක් වෙන්න..!!

නුරා විල සරණ හසඟනන් මැද්දෙ
ගිටාරය වයන ගෙඹි රජෙක් වෙන්න
කුණු ඇළ පේන කඩ මංඩිය ගාව
සුවඳ පිරුණු ෆුඩ්සිටිය වෙන්න
මට ආසයි පොරක් වෙන්න.. ආසයි මං හෙන පොරක් වෙන්න..

ජීවත් වෙන්න දඟලන මිනිස්සුන්ට
විමුක්තිය ගැන කවි ලියන්න
උස ස්ටේජ් එකක ඒ කවි කියන්න
"කමෝන් වන් මෝ" කෝ කෑගහන්න
මට ආසයි පොරක් වෙන්න.. ආසයි මං හෙන පොරක් වෙන්න..





Monday, April 15, 2013

කළු..


හති.. දැන්නම් හොඳටම හති.. කුණු මාළු කෑල්ලක් කෑවට තාම වතුර ටිකක් බිව්වේ නෑ.. කානුවේ වතුර නොබී ආවෙ හොඳ වතුර ටිකක් හම්බෙයි කියල බලාපොරොත්තුවක් ඇතිව... ඒත් ඒක නිකන් මේ කට්ට දවාලෙ ඉර යටට වළාකුලක් එයි කියල බලං ඉන්නව වගේම තමා.. මෙතනින් ඉගිල්ලෙන්න කලින් හොඳ හුස්මක් ගන්න හිතුවත් මේ ගිනි අරං තියෙන දූවිලි සාගරයේ කොහෙද හොඳ හුස්මක්..!! මම තාම ටවුන්හෝල් එකේ මුදුනෙ..!! ආ කියන්න අමතක උනා.. මම කපුටෙක්..!! කලු කැත කපුටෙක්..!!


මේක උඩට මේ ගින්න හොඳට පේනව. තාර පොලවෙන් මැගී නූඩ්ල්ස් වගේ උඩට ඇදෙන සංවහන රේඛා, පේමන්ට් එකේ හිඟා කන කළුවගෙ පිට හූරගෙන යනව පේනව. පව් ඌ. වෘත්තීය හිඟන්නෙක් නිසා ඌට මීට වඩා හොඳ පරිසරයක් ලැබෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නේ. ඉගිල්ලෙන්න තටු නැති එක ගැන ඌට අවුලක් නැති උනාට මේ ගින්නෙ පිච්චෙන එක ගැන ඌට අවුලක් තියෙන්න ඕනෙමයි කියලයි මට හිතෙන්න.. ආහ්.. ඔන්න කළුව මං දිහා බැලුව. ඌට මෙච්චර උඩ පේනවද ?? අඳුරගත්තද මංද.. ඔව්.. කළුවට මාත් එක්ක පෞද්ගලික ඇරියස් එකක් තියෙනව. කසිප්පු බීගෙන රෑට කෑගහනවට මං කැමති නෑ.. ඒකයි එදා ඌ නිදාගන්න තැනම කැත කලේ.. මං ඒක ඌට කලින් කිව්ව.. කියන කියන හැම පාරම මං දිලා ඔහේ බලං ඉන්නව ඇරෙන්න ඌ මුකුත් කිව්වද ?? මේ බස් වල ගෙරවිල්ලයි, එක වාහනයක් අනික් වාහනය දැක්කම සුභ පතන්න වගේ කෑ ගහන සද්දෙයි ඇරුනම, කළුව බීල කෑගහන එකයි හවසට පල්ලියෙ අඳෝනාවයි දෙකම ස්වභාවික නෑ කියලයි මං කියන්නෙ. ඔව්, මං ඒ දෙකටම කැමති නෑ. ඕනෙ නම් රහුමානියා එක ඉස්සරහ බලු නඩෙන් අහල බලන්න. වවුල්ලුන්ගෙන් අහල බලන්න. එකෙක්වත් ඔය සද්ද දෙකටම කැමති නෑ.

"හායි.." 

ආ.. කවුද අප්ප මේ ?? කපුටු කෑල්ලක් උනාට මේකි අනික් උන්ට වඩා පොෂ් විදියට කතා කළේ. ඔඩෙල් එක පැත්තෙ සෙට් එකේ කෑල්ලක් වෙන්න ඇති. කෙල්ලගෙ වොයිස් එකත් පොෂ්..!! පොඩි ලයින් එකක් තියෙනව. මොකද කරන්නේ..... ම්ම්.. පස්සෙන් යනවද.. ඔන්නැහැ.. ගොඩක්දුරට බොරු මහන්සියක් විතරයි.. කපුටෙක් විදියට හොඳ සමාජ විවරණයක් තියෙන එකේ මේකි පස්සෙ ගිහිං ආප්ප කඩේ දානෙ මිස් කරගන්න ඕනෙ නැහැ.. කොහොමටත් මේ කාලෙ ගෑනියෙක් හොයාගත්තත් ලයිට් වයර් එකේ පය ගහල ඉන්න පුළුවන් ගෑනියෙක් නැත්නම් මේ ගේම ගහන්න බෑ. ගෑනු ගැන නම් කළුවගෙන් ආදර්ශ ගන්න එක තමා හොඳ මට හිතෙන විදියට.. ෆාතියා අනික් මුස්ලිම් ගෑනු වගේ සුදු නැත්තේ කළුවත් එක්ක නිදාගන්න නිසා නෙමේ. හරි හිත හොඳ ගෑනි. පොඩි එකා කළුවගෙ උනාට ලොකු එකා උගෙ නෙමේ කියල බැලුවම කියන්න පුළුවන්. පොඩි එවුන් දෙන්න හිඟාකන්න යවන්නෙ නැතිව තියාගන්න එකම මැදෑ. අනික කළුව රෑ බීල ආවත් නොබී ආවත් ඒකි කළුවට බෑ කියන්නෙ නෑ. ඔය ඔඩෙල් එකේ බෝඩ් එකේ ඉන්න බාගෙට රෙදි පොරවගත්ත, මහ අමුතු විදියට බලාගෙන ඉන්න කෙල්ලන්ට වඩා හොඳට කළුවට හලාල් වෙන්න ෆාතියා දන්නව. කවුරු නෑ කිව්වත් ෆාතියා ඒ අතින් බෝඩ් එකේ ඉන්න කෙල්ලන්ට වඩා රැඩිකල් කියලයි මට හිතෙන්නෙ..

මං මෙහෙම හිතන්නේ මම ටවුන් හෝල් එකේ ඉන්න කපුටෙක් නිසාද ?? මහඉස්පිරිතාලෙයි, පාර්ක් එකයි කියන්නේ මහ පුදුමාකාර තැන් කියල හිතෙන්නෙ නැද්ද ?? ෆාතිමාගෙ ලොකු එකා ඒ දේවල් දිහා බලං ඉන්නෙ ඌට ඒ දෙවල් තේරෙනව වගේ. පාර්ක් එකේ තුරුලු වෙලා ඉන්න  ජෝඩු ඇත්තටම ආදරය කරනවද ? ඒකෙ ජෝඩු එලවන රස්සාව කරන ඇන්ටන් කියන්නෙ උන් එන්නෙ වලත්තකමට විතරයි කියල. ඇන්ටන්ගෙ වචන වලින්ම කිව්වොත් "පාර්ක් එකට එන උන්ට ඔනෙ බදාගෙන ලෙවකන්න විතරයි. උන්ට ගහක් කොලක් ගැනවත්, නවත්තල හෝන් ගහන අයිස්ක්‍රීම් කාරයො ගැනවත්, ළඟට ඇවිල්ල බලෙන් සාත්තර කියන ගෑනු ගැනවත්, හොරෙන් ජිල දාන ෂෝ මෑන්ල ගැනවත්, අඩුම ගානෙ උන්ගෙ පුකට විදින කඩිය ගැනවත් ගානක් නෑ.. වේල් හත අටක් හාමතේ ඉඳපු එකෙක්ට බුරියානි එකක් හම්බුනා වගේ තමා මුංට ගෑනි ඔඩොක්කුවෙන් තියාගත්තම පුහ්.. අපි නගරෙ සභාවෙ වැඩකරත් අපි ඔයිට වඩා හොඳට ගෑනු ගාව ඉන්නව.. ". 
ඇන්ටන් කියන කතාව බොරු කියල කියන්න බෑ. හැබැයි පඩි ගන්න දවසට ෆාතියා හරි සීලිං අක්කව හරි රඟමඩල පැත්තට ගෙන්න ගත්තම ඇන්ටන් ඔයිට හපං.. වියදම් කරන රුපියල් දෙසීයට හරියන්න ඉන්න තරම්වත් ඉවසීමක් ඌට නෑ..කොටින්ම මම ඒක දිහා බලං ඉන්නව කියල දැක්කත් ඇන්ටන් කවදාවත් මාව එලවල නෑ..

"අඩෝ.. වරෙන් ඉස්පිරිතාලෙ පැත්තෙ යන්න.. කානුව සරුයිලු.."
යාළුවෙක් කතා කරගෙනම ගියා.. පර්ක් එකේ කුනු බක්කි හිස් උනත් ඉස්පිරිතාලෙ කානුව නම් හිස් වෙන්න නෑ කියල ඕනෙ කපුටෙක් දන්නව. ඒ ලේ රහට, කුණු මස් රහට පුරුදු උනාම ගැලවෙන්නත් අමාරුයි.. ඒත් මං යන්නෙ නෑ.. ඔව්.. මීට සතියකට කලිං මං ඒ තීරණය ගත්ත එක ගැන, මට තාම අවුලක් දැනිල නෑ. ෆාතියා එයාගෙ තුන් වෙනි ලමයා ඉපදුනු ගමන්ම කළුවරේම ඒ කානුවට දැම්ම කියල මම දැනගත්තෙ කළුව බීල දොඩවනකොට. ඒක ස්ථිර උනේ ෆාතිමාම ඒක ඇන්ටන්ට කිව්ව එක අහන් හිටපු වෙලාවෙ. මුළු ජීවිත කාලෙටම මට ඔක්කාරෙට ආවෙ එදා.. ඔව්.. මට තාම මතකයි කළුවරේ රෙද්ද හද හද ඒකි ඒක කියපු හැටි...
........."මෙට දුකක් නේ යෙන්ටන් අයියා.. යේක ලොක්කූ උනත් මේ අපේයෙම නේ.. මෙට තව යෙකෙක්ට කරන්න බේ බං.. මෙට දුක කානුවට දාල බලන්නත් කෙලින්ම කපුටො කොට කොටා කාපු එක අයියා.. යෙනේ... යෙතකොට තමායි ඌ ඇඬුවෙ ඇන්ටන් අයියා.. අප්පේ... "